දකුණු ජර්මනියේ (Germany) නියුරම්බර්ග් (Nuremberg) නගරයේ පිහිටි සත්වෝද්‍යානයක්, තම කූඩුවේ අධික තදබදය හේතුවෙන් නිරෝගී ගිනියා බබූන් (Guinea baboons) 12 දෙනෙකු ඝාතනය කර ඇති අතර, පසුව එම සතුන් විලෝපිකයන්ට ආහාර ලෙස ලබා දී තිබෙනවා. මෙම සිද්ධියෙන් පසු දැඩි විරෝධයක් මතුව තිබෙනවා.
මෙම තීරණයට විරෝධය පළ කරමින් ටියර්ගාර්ටන් නියුරම්බර්ග් (Tiergarten Nürnberg) සත්වෝද්‍යානයට ඇතුළු වූ සත්ව අයිතිවාසිකම් ක්‍රියාකාරීන්, හත් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. සත්වෝද්‍යානය ප්‍රකාශ කළේ, අධික තදබදය හේතුවෙන් බබූන්වරුන් අතර “ගැටුම් වැඩි වීමක්” සිදුව ඇති බවත්, ඔවුන් නැවත පදිංචි කිරීමට විකල්පයක් සොයා ගැනීමට නොහැකි වූ බවත්ය.
ජර්මානු සත්ව ආරක්ෂණ නීති සංගමයේ (German Legal Association for Animal Protection Law) ප්‍රධානී ක්‍රිස්ටෝෆ් මයිසැක් (Christoph Maisack) පැවසුවේ, සතුන්ට අධික ලෙස බෝ වීමට ඉඩ දීම “ඔවුන් ඝාතනය කිරීමට හේතුවක් විය නොහැකි” බවයි. නියුරම්බර්ග් සත්වෝද්‍යානය පසුගිය වසරේදී ගිනියා බබූන්වරුන් ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බව නිවේදනය කර තිබුණා. එයට හේතුව වූයේ, 2009 දී සම්පූර්ණ කරන ලද සංකීර්ණයකට සතුන් 25 දෙනෙකු පමණක් රඳවා තැබිය හැකි වුවත්, එහි ජනගහනය 40 ඉක්මවා තිබීමයි.
සත්වෝද්‍යානයේ අධ්යක්ෂ ඩැග් එන්ක් (Dag Encke) පැවසුවේ, මෙම තීරණය “වසර ගණනාවක් තිස්සේ සලකා බැලීමෙන්” පසුව ගත් බවත්, සතුන් ඝාතනය කිරීම “ජනගහනය ආරක්ෂා කිරීම සඳහා අවසන් නීත්‍යානුකූල විසඳුමක් විය හැකි” බවත්ය.
මෙම ක්‍රියාව යුරෝපීය සත්වෝද්‍යාන සහ මත්ස්යගාර සංගමය (EAZA) විසින් නියම කර ඇති නිර්ණායකවලට අනුකූල බවද එන්ක් වැඩිදුරටත් පවසා ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



