ට්‍රම්ප්ගේ ගාසා සැලැස්මට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සහාය

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය (UN Security Council) එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගාසා සඳහා වූ කරුණු 20 කින් යුත් සැලැස්මට අනුමැතිය ලබා දෙන එක්සත් ජනපදය විසින් කෙටුම්පත් කරන ලද යෝජනාවකට පක්ෂව ඡන්දය දී තිබේ.

මෙම සැලැස්මට, ජාත්‍යන්තර ස්ථායීකරණ බලකායක් ISF (International Stabilisation Force) පිහිටුවීම ඇතුළත් වේ. මෙම බලකායට දායකත්වය සැපයීමට නම් නොකළ රටවල් කිහිපයක් ඉදිරිපත් වී ඇති බව එක්සත් ජනපදය පවසයි. ISF විසින් ඊශ්‍රායලය සහ ඊජිප්තුව සමඟ එක්ව, අලුතින් පුහුණු කර පරීක්ෂා කරන ලද පලස්තීන පොලිස් බලකායක් සමඟ කටයුතු කරනු ඇත. මෙහි අරමුණ වන්නේ දේශසීමා ප්‍රදේශ ආරක්ෂා කිරීම සහ හමාස් ඇතුළු රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායම් ස්ථිරව නිරායුධ කිරීමේ ක්‍රියාවලිය සහතික කිරීමයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එක්සත් ජනපද තානාපති මයික් වෝල්ට්ස් පවසා ඇත්තේ, ISF ට “ප්‍රදේශය ආරක්ෂා කිරීම, ගාසා තීරය යුධ මුක්ත කිරීම සඳහා සහාය වීම, ත්‍රස්ත යටිතල පහසුකම් විසුරුවා හැරීම, ආයුධ ඉවත් කිරීම සහ පලස්තීන සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීම” පැවරෙන බවයි.

එක්සත් රාජධානිය, ප්‍රංශය සහ සෝමාලියාව ඇතුළු රටවල් 13 ක් යෝජනාවට සහාය දුන් අතර කිසිවෙකු ඊට විරුද්ධව ඡන්දය දී නොමැත. රුසියාව සහ චීනය ඡන්දය දීමෙන් වැලකී සිටියහ. මෙම යෝජනාව සම්මත කිරීම විරාම ගිවිසුම තහවුරු කිරීමේ වැදගත් පියවරක් බවට එක්සත් ජාතීන්ගේ මහලේකම් Antonio Guterres ගේ ප්‍රකාශකයෙක් පවසා ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top