මධ්‍යධරණී මුහුදේ ජීවත් වන මහා සුදු මෝරුන් (Great white sharks) නීති විරෝධී මසුන් ඇල්ලීම හේතුවෙන් වඳවී යාමේ බරපතල අවදානමකට ලක්ව ඇති බව පර්යේෂකයෝ පවසති.
එක්සත් ජනපදයේ විද්‍යාඥයින් සහ බ්‍රිතාන්‍යයේ ‘Blue Marine Foundation’ ආයතනය එක්ව සිදුකළ පර්යේෂණයකට අනුව, ජාත්‍යන්තර නීතියෙන් ආරක්ෂිත මෝර විශේෂ උතුරු අප්‍රිකානු මත්ස්‍ය වෙළඳපොළවල විකිණීමට තබා ඇත. 2025 වසරේදී පමණක් උතුරු අප්‍රිකානු වෙළඳ වරායන්හිදී අවම වශයෙන් මහා සුදු මෝරුන් 40 දෙනෙකු මරා දමා ඇති බව අනාවරණය වී තිබේ.
වර්ජිනියා ටෙක් (Virginia Tech) සරසවියේ ආචාර්ය ෆ්රැන්චෙස්කෝ ෆෙරෙට්ටි පවසන්නේ, ලෝකයේ අනෙක් සාගර කලාපවලට වඩා මධ්‍යධරණී මුහුදේ අධික ලෙස මසුන් ඇල්ලීම සිදුවන බවයි. පවතින තත්ත්වය අනුව නුදුරු අනාගතයේදීම මොවුන් වඳවී යාමට ඉඩ ඇති බව ඔහු අනතුරු අඟවයි.
වර්තමානය වන විට මධ්‍යධරණී සුදු මෝරුන් ‘අතිශයින් වඳවීමේ තර්ජනයට ලක්වූ‘ (Critically Endangered) විශේෂයක් ලෙස වර්ගීකරණය කර ඇත. පර්යේෂක කණ්ඩායම සිසිලිය සහ උතුරු අප්‍රිකාව අතර පිහිටි මුහුදු ප්‍රදේශයේ (Strait of Sicily) මොවුන් පිළිබඳ අධ්‍යයනය කරමින් සිටියි. ඔවුන්ගේ ප්‍රධාන අරමුණක් වන්නේ ප්‍රථම වතාවට මධ්‍යධරණී සුදු මෝරෙකුට චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ හඳුනාගත හැකි ටැග් එකක් (Satellite tracking tag) සවි කිරීමයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



