මෙතනෝල් විෂවීම් අවදානම් අනතුරු ඇඟවීමේ ලැයිස්තුවට තවත් රටවල් 11 ක්

එක්සත් රාජධානියේ විදේශ කාර්යාලය (UK Foreign Office), මෙතනෝල් (Methanol) දූෂිත මධ්‍යසාර පානවලින් සිදුවන විෂ වීමේ අවදානම පිළිබඳව අනතුරු අඟවන ලැයිස්තුවට තවත් රටවල් 11 ක් එකතු කර තිබේ. මෙයට හේතුව වී ඇත්තේ වාර්තා වූ සිද්ධි සංඛ්‍යාවේ ගෝලීය වශයෙන් වැඩි වීමක් බව ඔවුන් පෙන්වා දෙයි.

මේ අනුව, මෙතනෝල් විෂ වීමේ අවදානමක් ඇති බවට යාවත්කාලීන කරන ලද සංචාරක මාර්ගෝපදේශවලට ඇතුළත් කර ඇති නව රටවල් අතරට බංග්ලාදේශය, ඉන්දියාව, ඉරානය, ජෝර්දානය, ලිබියාව, මලාවි, මැලේසියාව, මොරොක්කෝව, නේපාලය, පපුවා නිව් ගිනියාව සහ   රුවන්ඩාව ඇතුලත් වේ.

පසුගිය මාසයේදී, ලාඕසයේදී සංචාරකයින් හය දෙනෙකු මිය යෑම ඇතුළු සිද්ධි ගණනාවකට පසුව, ඉක්වදෝරය, ජපානය, කෙන්යාව, මෙක්සිකෝව, නයිජීරියාව, පේරු, රුසියාව සහ උගන්ඩාව දැනටමත් ලැයිස්තුවට එකතු කර තිබුණි.

මෙතනෝල් යනු ඇන්ටිෆ්‍රීස්, වින්ඩ්ස්ක්‍රීන් වොෂර් තරලය (windscreen washer fluid) සහ තීන්ත තුනීකාරක (paint thinner) වැනි කාර්මික නිෂ්පාදනවල භාවිතා කරන විෂ සහිත කාර්මික මධ්‍යසාරයක් වන අතර එය මිනිස් පරිභෝජනයට සුදුසු නොවේ.

සමහර රටවල, පිරිවැය අඩු කිරීම සඳහා එය නීති විරෝධී ලෙස මධ්‍යසාර පානවලට මිශ්‍ර කරනු ලැබේ. මෙතනෝල් සුවඳක් හෝ රසයක් නොමැති බැවින් එය හඳුනාගත නොහැක. සංචාරකයින්ට අනතුරු අඟවා ඇත්තේ, මෙතනෝල් ඉතා කුඩා ප්‍රමාණයක් පවා පැය 12 ත් 48 ත් අතර කාලය තුළ අන්ධභාවයට හෝ මරණයට හේතු විය හැකි බවයි.

ඒ අනුව මෙතනෝල් විෂ වීමේ අවදානමක් ඇති බවට ලැයිස්තුගත කර ඇති මුළු රටවල් වනුයේ  බ්‍රසීලය, බංග්ලාදේශය, කාම්බෝජය, කොස්ටාරිකාව, ඉක්වදෝරය, ෆීජි, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරානය, ජපානය, ජෝර්දානය, කෙන්යාව, ලාඕසය, ලිබියාව, මලාවි, මැලේසියාව, මෙක්සිකෝව, මොරොක්කෝව, නේපාලය, නයිජීරියාව, පපුවා නිව් ගිනියාව, පේරු, රුසියාව, රුවන්ඩාව, තායිලන්තය, තුර්කිය, උගන්ඩාව, සහ වියට්නාමය යි.

 

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top