රුසියානු හමුදාවේ ප්රබලතම නිලධාරියෙකු වන ලුතිනන් ජෙනරාල් ව්ලැඩිමීර් ඇලෙක්සෙව් (Lt Gen Vladimir Alexeyev) මොස්කව් නුවරදී වෙඩි ප්‍රහාර කිහිපයකට ලක්ව බරපතල තුවාල ලබා තිබේ.
මොස්කව් නුවර වයඹදිග ප්‍රදේශයේ පිහිටි වොලොකොලම්ස්ක් (Volokolamsk) මහා මාර්ගය අසල නේවාසික ගොඩනැගිල්ලකදී මෙම වෙඩි තැබීම සිදුවී ඇත. වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ ඔහුව රෝහල්ගත කර ඇති අතර, ඔහුගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මෙතෙක් නිල තොරතුරු අනාවරණය වී නොමැති බව රුසියානු විමර්ශන කමිටුවේ ස්වෙට්ලානා පෙට්රෙන්කෝ සඳහන් කළාය.
2023 වසරේදී යෙව්ගනි ප්‍රිගොෂින් ප්රමුඛ වැග්නර් කණ්ඩායම මෙහෙයවූ හමුදා කැරැල්ල සමනය කිරීම සඳහා සාකච්ඡා කිරීමට මැදිහත් වූ ප්‍රධානියා මොහුය. 2022 වසරේදී මරියුපෝල් (Mariupol) නගරය වටලෑමේදී යුක්රේනය සමඟ පැවති සාකච්ඡාවලට සෘජුවම දායක විය. 2018 වසරේ බ්‍රිතාන්‍යයේ සෝල්ස්බරි (Salisbury) නුවරදී එල්ල වූ ස්නායු විෂ වායු ප්‍රහාරය පිටුපස GRU බුද්ධි අංශය සිටින බවට එල්ල වූ චෝදනා හේතුවෙන් ඔහුට යුරෝපා සංගමය විසින් සම්බාධක පනවා තිබුණි.
මෙම ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත. කෙසේ වෙතත්, මීට පෙර රුසියාව තුළ සිදුවූ මෙවැනි ප්‍රහාර රැසක වගකීම යුක්රේන බුද්ධි අංශ (SBU) විසින් භාරගෙන තිබුණි. රුසියානු විමර්ශන කමිටුව මෙය “මනුෂ්‍ය ඝාතනය කිරීමට තැත් කිරීමක්” ලෙස සලකා අපරාධ නඩුවක් ගොනු කර තිබේ.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



