වසර 20කට පසු ‘Gruffalo’ තෙවන පොත එළියට

ලොව පුරා ළමා පාඨකයින්ගේ නොමඳ ආදරය දිනාගත් ‘The Gruffalo’ කතා මාලාවේ තෙවන ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වන බව එහි කතෘ ජුලියා ඩොනල්ඩ්සන් විසින් නිල වශයෙන් නිවේදනය කර තිබේ. මෙවර කතාවේ ප්‍රධාන චරිතය වන්නේ ග්‍රැෆලෝගේ මිත්තණිය හෙවත් ‘Gruffalo Granny’ .

සැප්තැම්බර් 10 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත මෙම පොතෙහි පළමු පොත් දෙකෙහි අපට හමු වූ අනෙකුත් සතුන් සහ ප්‍රියතම චරිත මෙම නව වික්‍රමයට එක්වීමට නියමිතය. සුපුරුදු පරිදි ප්‍රවීණ සිතුවම් ශිල්පී ඇක්සල් ෂෙෆ්ලර් (Axel Scheffler) විසින් මෙහි සිතුවම් නිර්මාණය කරනු ලබයි. සිතුවම් ශිල්පී ඇක්සල් ෂෙෆ්ලර් පවසන්නේ තවත් පොතක් බිහි නොවනු ඇතැයි තමන් සිතා සිටියද, ජුලියා ඉදිරිපත් කළ අපූරු කතාව නිසා තමන් නැවතත් සිතුවම් ඇඳීමට උනන්දු වූ බවයි.

මෙම කතා මාලාවේ පළමු පොත් දෙක මේ වන විට භාෂා 115කට වැඩි ගණනකට පරිවර්තනය වී ඇති අතර, ලොව පුරා පිටපත් මිලියන 18කට වඩා අලෙවි වී ඇත. ජුලියා ඩොනල්ඩ්සන් පවසන්නේ ‘National Literacy Trust’ ආයතනය සමඟ කළ වැඩකටයුතු නිසා මෙම පැරණි අදහස නැවතත් පොතක් ලෙස එළිදැක්වීමට තමන්ට ශක්තිය ලැබුණු බවයි.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top