වසර 50කට වැඩි කාලයකට පසු පළමු වරට ගගනගාමීන් සහිත යානයක් සඳ වටා යැවීම සඳහා ඇමරිකාවේ නාසා (NASA) ආයතනය මාර්තු මස මුල් භාගය ඉලක්ක කර ගෙන තිබේ. මෙය මිනිස් ඉතිහාසයේ අභ්‍යවකාශය තුළ සිදු කරන දුරස්ථම ගමන ලෙස සැලකේ.
‘ආටෙමිස් II’ (Artemis II) ලෙස නම් කර ඇති මෙම මෙහෙයුමේදී ගගනගාමීන් හතර දෙනෙකු දින 10ක ඓතිහාසික ගමනක නිරත වනු ඇත. ඔවුන් සඳෙහි පෘථිවියට නොපෙනෙන පැත්ත (far side) වටා ගමන් කර නැවත පෘථිවියට පැමිණීමට නියමිතය. මෙම මෙහෙයුම අනාගතයේදී නැවතත් මිනිසුන් සඳ මත පා තැබීම සඳහා මාවත සකසනු ඇත.
ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී පැවති අතිශය තීරණාත්මක පූර්ව දියත් කිරීමේ පරීක්ෂණයක් (Wet dress rehearsal – රොකට්ටුවට ඉන්ධන පුරවා දියත් කිරීමේ පෙරහුරුවක් පැවැත්වීම) සාර්ථක වීමෙන් පසුව, නාසා ආයතනය විසින් මෙම මෙහෙයුම දියත් කළ හැකි මුල්ම දිනය ලෙස මාර්තු 6 වනදා ප්‍රකාශයට පත් කර ඇත.
පෙබරවාරි මස මුලදී සිදු කළ පළමු පෙරහුරුව හයිඩ්‍රජන් ඉන්ධන කාන්දුවක් නිසා අතරමග නතර කිරීමට සිදු වූ නමුත්, දැන් එම තාක්ෂණික ගැටළු සියල්ල විසඳා ඇති බව නාසා බලධාරීන් තහවුරු කරයි.
මෙම ඓතිහාසික ගමන සඳහා ගගනගාමීන් ලෙස රීඩ් වයිස්මන් (Reid Wiseman) – ඇමරිකාව, වික්ටර් ග්ලෝවර් (Victor Glover) – ඇමරිකාව, ක්‍රිස්ටිනා කෝච් (Christina Koch) – ඇමරිකාව සහ ජෙරමි හැන්සන් (Jeremy Hansen) – කැනඩාව යන ගගනගාමීන් සිව්දෙනා තෝරාගෙන ඇත. ඔවුන් මෙම ගමන ආරම්භ කරන්නේ නාසා හි දැවැන්තම රොකට්ටුව වන මීටර් 98ක් (අඩි 322ක්) උස ‘Space Launch System’ (SLS) මගිනි. මෙම රොකට්ටුව මීට පෙර 2022 වසරේදී මිනිසුන් රහිත ‘ආටෙමිස් I’ මෙහෙයුම සඳහා එක් වරක් පමණක් සාර්ථකව භාවිතා කර ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



