දින ගණනාවක් පැවති ධාරානිපාත වර්ෂාවකින් පසුව සුඩානයේ බටහිර මාර්රා කඳුකරයේ (Marra Mountains) සිදුවූ විශාල නාය යාමකින් පුද්ගලයන් 1,000කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව සුඩාන විමුක්ති ව්‍යාපාරය/හමුදාව (Sudan Liberation Movement/Army) පවසයි. මෙම ව්‍යසනය හේතුවෙන් තාරසින් (Tarasin) ගම්මානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, ජීවත්ව සිටින එකම පුද්ගලයා පමණක් සොයාගෙන තිබේ.
ඩර්ෆූර් (Darfur) හි ආණ්ඩුකාරවරයා වන මිනි මින්නාවි (Minni Minnawi) ඇතුළු ප්‍රාදේශීය නායකයින් මෙම සිදුවීම “මානුෂීය ඛේදවාචකයක්” ලෙස විස්තර කර ඇති අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ ජාත්‍යන්තර සංවිධානවලින් කඩිනම් ආධාර යවන ලෙස ඉල්ලා සිටියේය. මියගිය අයගෙන් බොහෝ දෙනෙක් ඩර්ෆූර්හි වෙනත් ප්‍රදේශවලින් සටන් හේතුවෙන් පලා ආ පුද්ගලයන් ය.
2023 අප්‍රේල් මාසයේදී හමුදාව සහ Rapid Support Forces අතර යුද්ධය ඇවිලීමෙන් පසු සුඩානය තවමත් අර්බුදයක පවතී. මෙම ගැටුමෙන් මිලියන 12ක් පමණ ජනතාව අවතැන් වී ඇති අතර, සාගතයක් ද ඇති වී තිබේ. දස දහස් ගණනක් මිය ගොස් ඇති මෙම තත්ත්වය, නාය යාමක් වැනි ස්වභාවික විපත්වල බලපෑම තවදුරටත් උග්‍ර කර ඇත.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



