ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ලුවර් කෞතුකාගාරයේ (Louvre Museum) දී දිවා කාලයේ දී සිදු කළ කොල්ලයකින් “මිල කළ නොහැකි” ලෙසින් විස්තර කෙරෙන මැණික් හා ස්වර්ණාභරණ තොගයක් සොරකම් කර ඇත. මෙම සිද්ධියට වගකිව යුතු සොර කණ්ඩායමක් සොයා පුළුල් මෙහෙයුමක් දියත් කර තිබේ. කෞතුකාගාරය නරඹන්නන් සඳහා විවෘත කිරීමෙන් මිනිත්තු කිහිපයක් ඇතුළත මෙම සොරකම සිදු කර ඇති බව ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Laurent Nuñez පවසා ඇත.
සොර කණ්ඩායම පළමු මහලේ කවුළුවකට ළඟා වීමට යාන්ත්‍රික ඉණිමඟක් (mechanical ladder) භාවිතා කර ඇති අතර, ඔවුන් බැටරි බලයෙන් ක්‍රියා කරන තැටි කටර් (disc cutters) භාවිතා කරමින් ගොඩනැගිල්ලට ඇතුළු වී ඇති බව පැරිස් නඩු පවරන්නන් පවසා ඇත.v සොරකමට පුද්ගලයන් හතර දෙනෙකු සම්බන්ධ වී ඇති අතර, දෙදෙනෙකු ගොඩනැගිල්ලට ඇතුළු වී එහි සිටි ආරක්ෂකයින්ට තර්ජනය කර ඇත.
ප්‍රංශ රාජකීය ස්වර්ණාභරණ තැන්පත් කර ඇති Galeria d’Apollon (Gallery of Apollo) වෙතින් ස්වර්ණාභරණ සොරකම් කර ඇත. සොරකම සිදු කළ කල්ලිය මොපෙඩ් යතුරුපැදි යොදා ගනිමින් පලා ගොස් ඇති බව වාර්තා වේ. ඔවුන් ගඟ අසල වාහනයක සවිකර තිබූ දිගු කළ හැකි ඉණිමඟක් අතහැර දමා ගොස් ඇති අතර, පලා යාමට පෙර වාහනයට ගිනි තැබීමට උත්සාහ කළද, කෞතුකාගාර කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු විසින් එය වළක්වා ඇත.
නිලධාරීන් පවසා ඇත්තේ මුළු භාණ්ඩ නවයක් සොරකම් කර ඇති බවයි. සොරකම් කරන ලද සියලුම භාණ්ඩ ප්‍රංශයේ 19 වන සියවසේ රාජකීයත්වයට අයත් වන අතර ඒවා දියමන්ති දහස් ගණනකින් සහ වෙනත් වටිනා මැණික් ගල්වලින් අලංකාර කර ඇත.
ඒ අතර, නැපෝලියන් III ගේ බිරිඳ වූ අධිරාජිනී යුජිනී (Empress Eugénie) සතු වූ පළඳනාවක් සහ මරකත කරාබු යුගලයක් වී ඇත. නැපෝලියන් III ගේ බිරිඳගේ කිරුළක් පලා යාමේදී සොරකම් කළ අය විසින් අතහැර දමා ඇති බව පෙනී යයි. රන් රාජාලීන්ගෙන් සමන්විත වූ මෙම කිරුළ දියමන්ති 1,354 කින් සහ මරකත 56 කින් සමන්විත බව ලුවර් වෙබ් අඩවියේ සඳහන් වේ.
Nuñez පවසා ඇත්තේ සොරකම් කරන ලද කෑලිවල වාණිජ වටිනාකමට අමතරව, ගණනය කළ නොහැකි සංස්කෘතික හා ඓතිහාසික වටිනාකමක් ඇති බවත්, ඒවා “මිල කළ නොහැකි” සහ “මැනිය නොහැකි උරුම වටිනාකමක්” ඇති බවත්ය.
මෙම සිද්ධියෙන් කිසිවෙකුට තුවාල සිදුවී නොමැත. ලෝකයේ වැඩිපුරම නරඹන කෞතුකාගාරය වන ලුවර්, සිද්ධිය හේතුවෙන් එදිනම වසා දමන ලදී.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



