නවසීලන්තයේ උසම කඳු මුදුනෙන් ඇද වැටී කඳු නගින්නන් දෙදෙනෙකු ජීවිතක්ෂයට!

නවසිලන්තයේ උසම කඳු මුදුන වන Aoraki (Mount Cook) කන්දේ කටුක භූමි ප්‍රදේශයේදී කඳු නැගීමේදී ඇද වැටීමෙන් කඳු නගින්නන් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

මියගිය දෙදෙනා මීටර් 3,724 ක් උස මෙම කඳු මුදුන තරණය කිරීමට උත්සාහ කළ හතර දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට අයත් විය. අනෙක් දෙදෙනාට තුවාල සිදුවී නොමැති අතර, පෙර දින රාත්‍රියේ හදිසි සේවාවන් සම්බන්ධ කර ගැනීමෙන් පසු අඟහරුවාදා (ඊයේ) අලුයම හෙලිකොප්ටර් මගින් ඔවුන්ව බේරාගෙන තිබේ. පැය කිහිපයකට පසු මියගිය කඳු නගින්නන්ගේ සිරුරු සොයාගෙන ඇති අතර, ඔවුන් තවමත් කඳු නැගීමේ සවි කිරීම් පටි මගින් එකට සම්බන්ධ වී සිට ඇත.

දකුණු දූපතේ දකුණු ඇල්ප්ස් කඳුවැටිය දිගේ විහිදෙන Aoraki කන්ද තරණය කිරීම, විශාල හිම ඉරිතැලීම් (crevasses) සහ අනපේක්ෂිත කාලගුණය හේතුවෙන් දක්ෂ කඳු නගින්නන්ට පවා දුෂ්කර වේ. නවසීලන්ත මාධ්‍ය වාර්තා කළේ මියගිය අයගෙන් එක් අයෙක් ජාත්‍යන්තරව පිළිගත් කඳු මාර්ගෝපදේශකයෙකු බවයි.

මීට වසරකට පමණ පෙර එක්සත් ජනපදයේ සහ කැනඩාවේ කඳු නගින්නන් තිදෙනෙකු මෙම කන්දේදී අතුරුදහන් වූ අතර, ඔවුන්ගේ සිරුරු කිසි විටෙකත් සොයා නොගත්තද, දින ගණනාවක සෙවීමේ මෙහෙයුමකින් පසුව ඔවුන් මිය ගිය බවට තීරණය විය.

නවසීලන්ත ඇල්පයින් සමාජයට අනුව, Aoraki Mount Cook කඳු මුදුනට යාමට උත්සාහ කිරීමේදී දස දහස් ගණනක් මිය ගොස් ඇති අතර, එක් කඳු නැගීමේ වාරයකදීවත් අවම වශයෙන් එක් මරණයක් හෝ සිදු නොවන්නේ ඉතා කලාතුරකිනි.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top