එක්සත් රාජධානියේ ‘ජන්ක් ෆුඩ්’ (Junk Food) දැන්වීම් රූපවාහිනියෙන් සහ අන්තර්ජාලයෙන් තහනම් කෙරේ

ළමා තරබාරුකම (Childhood obesity) මැඩපැවැත්වීමේ අරමුණින් ක්‍රියාත්මක කළ නව වැඩපිළිවෙලක් යටතේ, ඊයේ (සඳුදා) සිට එක්සත් රාජධානිය තුළ සෞඛ්‍යයට අහිතකර ක්ෂණික ආහාර හෙවත් ‘ජන්ක් ෆුඩ්’ (Junk Food) වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීම තහනම් කර තිබේ. මෙම නව නීතියට අනුව රාත්‍රී 9:00 ට පෙර රූපවාහිනියේ අදාළ දැන්වීම් ප්‍රචාරය තහනම් වන අතර, අන්තර්ජාලය මගින් දවසේ ඕනෑම වේලාවක අදාළ දැන්වීම් ප්‍රචාරය සම්පූර්ණයෙන්ම තහනම් වේ.

අධික මේදය, ලුණු සහ සීනි (HFSS – High in Fat, Salt and Sugar) අඩංගු ආහාර පාන මෙම තහනමට යටත් වේ. ළමුන් අතර ජනප්‍රිය පැණි බීම, චොකලට්, රසකැවිලි, පීසා සහ අයිස්ක්‍රීම් වැනි නිෂ්පාදන මීට ප්‍රධාන වශයෙන් ඇතුළත්ය. මීට අමතරව, පෝෂක මට්ටම් පදනම් කරගත් ලකුණු ක්‍රමයක් මගින් තෝරා ගත් ඇතැම් උදෑසන ආහාර ධාන්‍ය වර්ග (Breakfast cereals), පැණි රස කළ පාන් නිෂ්පාදන, සැන්ඩ්විච් වර්ග සහ ප්‍රධාන ආහාර වේල් ද මෙම තහනමට අයත් වේ.

සීනි, චොකලට් හෝ සිරප් එකතු නොකළ සාමාන්‍ය ඕට්ස් සහ ධාන්‍ය වර්ග (Muesli/Granola) සඳහා මෙම තහනම බල නොපායි. සමාගම්වලට ඔවුන්ගේ නිෂ්පාදනවල සෞඛ්‍ය සම්පන්න අනුවාදයන් (Healthier versions) තවදුරටත් ප්‍රචාරය කළ හැකිය. රජය අපේක්ෂා කරන්නේ මේ හරහා ආහාර නිෂ්පාදකයින් වඩාත් ගුණදායී වට්ටෝරු හඳුන්වා දීමට පෙළඹෙනු ඇති බවයි.

අලෙවිකරණ විශේෂඥයින් පවසන පරිදි, මෙම නීතිය යටතේ වුවද සමාගම්වලට ඔවුන්ගේ පොදු වෙළඳ නාමය (Brand name) ප්‍රචාරය කිරීමට අවස්ථාව ඇත. උදාහරණයක් ලෙස, නිශ්චිත ආහාරයක් නොපෙන්වා ‘මැක්ඩොනල්ඩ්ස්’ ආරුක්කු ලාංඡනය හෝ ‘පෙප්සි’ ලාංඡනය පමණක් පෙන්වන දැන්වීම් තහනම් නොවනු ඇත. මේ හේතුවෙන්, විශාල සමාගම්වලට මෙම තහනමේ බලපෑම අවම විය හැකි නමුත්, නිශ්චිත නිෂ්පාදන පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට වෙළඳ දැන්වීම් මත යැපෙන කුඩා පරිමාණ ආහාර සමාගම්වලට මෙය දැඩිව බලපානු ඇතැයි සැලකේ.

 

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top