ඩිස්නි (Disney) සමාගමේ Zootropolis 2 (සමහර රටවල Zootopia 2 ලෙස හැඳින්වේ) චිත්‍රපටය ලොව පුරා ඇමරිකානු ඩොලර් බිලියන 1.7 ක ආදායමක් උපයමින්, හොලිවුඩ් ඉතිහාසයේ වැඩිම ආදායමක් ඉපයූ සජීවිකරණ චිත්‍රපටය (Highest-grossing animated film) බවට පත්ව තිබේ.
මෙතෙක් එම වාර්තාවට හිමිකම් කියූ Inside Out 2 ($1.69bn) චිත්‍රපටය අභිබවා යාමට මෙය සමත්ව ඇත. මීට අමතරව Zootropolis 2 සමස්ත සිනමා ඉතිහාසයේ (Animated සහ Live-action) වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපට අතර 9 වැනි ස්ථානයට මෙය පත්ව ඇත. හොලිවුඩ් සජීවිකරණ චිත්‍රපටයක් ඩොලර් බිලියනයේ සීමාව පසුකළ වේගවත්ම අවස්ථාව මෙයයි. ඇමරිකාවේ ‘Thanksgiving’ නිවාඩු සමයේදී නිකුත් වූ මෙය, සජීවිකරණ චිත්‍රපටයක් ලැබූ ඉහළම ආරම්භක සතිඅන්ත ආදායම ද වාර්තා කර ඇත. මෙම චිත්‍රපටයේ සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වමින් ඩිස්නි සිනමා ප්‍රධානී ඇලන් බර්ග්මන් පැවසුවේ, “මෙම ජයග්‍රහණය ලොව පුරා සිටින ප්‍රේක්ෂකයින් සතු දෙයක්” බවයි.
2016 වසරේ තිරගත වූ මුල් චිත්‍රපටයේ අඛණ්ඩ දිගුවක් ලෙස නිපද වූ මෙහි, ජූඩි හොප්ස් (කෝලෑ සාජන්ට්) සහ නික් වයිල්ඩ් (නරියා) යන චරිත නැවතත් එක්වෙති. මෙවර ඔවුන්ට ගැරී ද ස්නේක් (Gary De’Snake) නමැති අද්භූත උරගයෙකු හඹා යාමට සිදුවේ.
Zootropolis 2 හොලිවුඩ් වාර්තාව තැබුවද, සමස්ත ලෝකයේම අංක එකේ සජීවිකරණ චිත්‍රපටය ලෙස තවමත් පවතින්නේ චීනයේ නිෂ්පාදිත Ne Zha 2 චිත්‍රපටයයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



