බ්‍රිතාන්‍යයේ විශාලතම සහ කාර්යබහුලම ගුවන් තොටුපළ වන ලන්ඩන් හීත්‍රෝ (Heathrow), සියලුම පර්යන්තවල (Terminals) නවීනතම CT ස්කෑනර් යන්ත්‍ර ස්ථාපිත කර අවසන් කර ඇත. මේ අනුව, දශක දෙකකට ආසන්න කාලයක් පැවති “මිලිලීටර් 100 දියර සීමාව” මින් ඉදිරියට හීත්‍රෝ ගුවන් තොටුපළට අදාළ නොවේ.
මෙම නව තාක්ෂණික දියුණුවත් සමඟ හීත්‍රෝ හරහා ගමන් කරන මගීන්ට සිය අත් ගමන් මලු (Hand luggage) තුළ ලීටර් 2 දක්වා වන දියර බෝතල්, ක්‍රීම් හෝ ජෙල් වර්ග රැගෙන යා හැකිය. මීට පෙර මෙන් දියර වර්ග බෑගයෙන් පිටතට ගෙන ප්ලාස්ටික් බෑග්වල දැමීම අවශ්‍ය නොවේ. ඒවා බෑගය තුළම තිබියදී ස්කෑන් කළ හැකිය. ලැප්ටොප් (Laptops), ටැබ්ලට් (Tablets) වැනි උපකරණ ද පරීක්ෂාවේදී බෑගයෙන් පිටතට ගැනීම අවශ්‍ය නොවේ.
මෙම නව CT (Computed Tomography) ස්කෑනර් යන්ත්‍ර මගින් ගමන් මලු ඇතුළත ඇති වස්තූන්ගේ ඉතා පැහැදිලි ත්‍රිමාණ (3D) රූප නිර්මාණය කරයි. මේ නිසා ආරක්ෂක නිලධාරීන්ට බෑගය විවෘත නොකරම එහි ඇති පුපුරණ ද්‍රව්‍ය හෝ වෙනත් තහනම් ද්‍රව්‍ය හඳුනා ගැනීම පහසු වේ.
හීත්‍රෝ මෙම තාක්ෂණය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ ලොව විශාලතම ගුවන් තොටුපළ වුවද, බ්‍රිතාන්‍යයේ තවත් ගුවන් තොටුපළ කිහිපයක් දැනටමත් මෙම නීති ලිහිල් කර ඇත. මෙම ලිහිල් කිරීම අදාළ වන්නේ හීත්‍රෝ ගුවන් තොටුපළෙන් පිටත්වන (Departure) ගුවන් ගමන් සඳහා පමණි. මෙම වෙනස නිසා ගුවන් තොටුපළේ පෝලිම් පවතින කාලය 50% කින් පමණ අඩු වනු ඇතැයි බලධාරීන් අපේක්ෂා කරයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



