ඩිස්නි (Disney) සහ පික්සාර් (Pixar) සමාගම විසින් බොහෝ දෙනා බලාපොරොත්තු වූ Toy Story 5 චිත්‍රපටයේ නිල ට්‍රේලරය (Trailer) පසුගියදා නිකුත් කර තිබේ. මෙය 1995 දී ආරම්භ වූ මෙම ජනප්‍රිය සජීවීකරණ චිත්‍රපට මාලාවේ පස්වැන්නයි. මෙවර කතාව ගෙතී ඇත්තේ වර්තමාන දරුවන්ගේ සෙල්ලම් කාලය ආක්‍රමණය කර ඇති ස්මාර්ට් උපාංග වටා ය.
සෙල්ලම් බඩුවල නව හිමිකාරිය වන බොනී (Bonnie), ‘Lilypad’ නම් ගෙම්බෙකුගේ හැඩය ගත් ටැබ්ලට් පරිගණකයකට (Tablet) දැඩි ලෙස ඇබ්බැහි වේ. මෙම උපාංගය විසින් සාම්ප්‍රදායික සෙල්ලම් බඩුවල පැවැත්මට දැඩි තර්ජනයක් එල්ල කරන අතර, දරුවන්ට සෙල්ලම් කිරීමට වඩාත් සුදුසු දේ පිළිබඳව එහිම වූ ‘ඩිජිටල්’ අදහස් පවතී.
පෙර චිත්‍රපටයේදී (Toy Story 4) කණ්ඩායමෙන් වෙන්ව ගිය වුඩී මෙවර නැවත පැමිණේ. ට්‍රේලරයේ ඔහු තරමක් තට්ටය පෑදුණු (balding) ස්වභාවයකින් සහ පොන්චෝවක් (poncho) හැඳ සිටිනු දැකගත හැකිය. Tom Hanks (Woody) සහ Tim Allen (Buzz Lightyear) සිය සුපුරුදු චරිත සඳහා පණ පොවති. මීට පෙර හඬ දුන් දොන් රිකල්ස්ගේ අභාවයෙන් පසු, Mr. Potato Head චරිතය සඳහා Jeff Bergman හඬ දායකත්වය සපයයි. Mrs. Potato Head සඳහා Anna Vocino දායක වේ. Jessie, Hamm, Slinky Dog සහ Duke Kaboom (Keanu Reeves) වැනි ජනප්‍රිය චරිත රැසක් නැවත දැකගත හැකිය.
චිත්‍රපටය 2026 ජූනි 19 වන දින ලොව පුරා තිරගත වීමට නියමිතය. මෙය ඔස්කාර් සම්මානලාභී අධ්යක්ෂ ඇන්ඩෘ ස්ටැන්ටන් (Andrew Stanton) ගේ අධ්‍යක්ෂණයකි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



