කෘතිම බුද්ධිය (AI) මගින් ක්‍රියාත්මක වන සෙල්ලම් බඩු කුඩා දරුවන්ගේ හැඟීම් වැරදියට වටහා ගන්නා බවත්, ඒ සඳහා නුසුදුසු ප්‍රතිචාර දක්වන බවත් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් අනතුරු අඟවයි. වයස අවුරුදු පහට අඩු දරුවන් මෙම තාක්ෂණය සමඟ කටයුතු කරන ආකාරය පිළිබඳව ලොව ප්‍රථම වරට සිදු කළ පර්යේෂණයකින් පසු ඔවුන් මේ බව ප්‍රකාශ කර ඇත.
මෙම අධ්‍යයනය සඳහා ‘Gabbo’ නමැති මෘදු සෙල්ලම් බඩුව යොදාගත් අතර, එය OpenAI හි කෘතිම බුද්ධි තාක්ෂණයෙන් (Chatbot) සමන්විත වේ.
දෙමාපියන් තම දරුවන්ගේ භාෂා සහ සන්නිවේදන කුසලතා දියුණු කර ගැනීමට මෙම තාක්ෂණය උදවු වනු ඇතැයි අපේක්ෂා කළද, පර්යේෂණයේදී දක්නට ලැබුණේ වෙනස්ම තත්ත්වයකි. දරුවන් පවසන දේ නිවැරදිව වටහා ගැනීමට මෙම සෙල්ලම් බඩුව අපොහොසත් වූ අවස්ථා රැසක් වාර්තා විය.
සෙල්ලම් බඩුවල භෞතික ආරක්ෂාව (කැඩෙන කොටස් ගිලීම වැනි දේ) පිළිබඳව මෙතෙක් අවධානය යොමු කළද, දැන් දරුවන්ගේ ‘මනෝවිද්‍යාත්මක ආරක්ෂාව‘ පිළිබඳව සිතීමට කාලය පැමිණ ඇතැයි පර්යේෂණයේ සම–කර්තෘ මහාචාර්ය ජෙනී ගිබ්සන් පවසයි.
ළමා සංවර්ධනයේ වැදගත්ම අවධියක සිටින දරුවන් සමාජ සබඳතා සහ හැඟීම් හඳුනා ගැනීමට ඉගෙන ගන්නා අතරතුර, AI මගින් ලැබෙන මෙවැනි යාන්ත්‍රික සහ වැරදි සහගත ප්‍රතිචාර නිසා ඔවුන් ව්‍යාකූල විය හැකි බව පර්යේෂකයන්ගේ මතයයි. මේ හේතුවෙන්, කුඩා දරුවන් සඳහා නිපදවන AI සෙල්ලම් බඩු සම්බන්ධයෙන් දැඩි නියාමනයක් අවශ්‍ය බව ඔවුන් අවධාරණය කරයි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



