2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඉරානය සහභාගී වන තරග අමෙරිකා එක්සත් ජනපදයේ සිට මෙක්සිකෝව දක්වා වෙනස් කරන ලෙස ඉරාන පාපන්දු සම්මේලනය ෆීෆා (FIFA) ආයතනයෙන් නිල වශයෙන් ඉල්ලා තිබේ. ඉරාන ක්රීඩකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් අපොහොසත් වී ඇති බවට චෝදනා කරමින් ඔවුන් මෙම තීරණය ගෙන ඇත.
ඉරාන පාපන්දු සම්මේලනයේ සභාපති මෙහ්දි තාජ් (Mehdi Taj) සඳහන් කර ඇත්තේ, ඉරාන ජාතික කණ්ඩායමේ ආරක්ෂාව සහතික කළ නොහැකි බවට ජනාධිපති ට්රම්ප් ප්රකාශ කර තිබියදී තම කණ්ඩායම කිසිසේත්ම අමෙරිකාවට නොයවන බවයි. මේ සම්බන්ධයෙන් මෙක්සිකෝවේ පිහිටි ඉරාන තානාපති කාර්යාලය හරහා ඔවුන් ෆීෆා ආයතනය සමඟ විශේෂ සාකච්ඡා ආරම්භ කර තිබේ.
ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූ ප්රථම ආසියානු රට වූයේ ඉරානයයි. දැනට පවතින කාලසටහනට අනුව ඉරානය තම මූලික වටයේ තරග දෙකක් ලොස් ඇන්ජලීස්හිදීත්, එක් තරගයක් සීඇටල්හිදීත් ක්රීඩා කිරීමට නියමිතව තිබුණි.
ජනාධිපති ට්රම්ප් මීට පෙර ප්රකාශ කර තිබුණේ ඉරාන කණ්ඩායමට තරගාවලියට සහභාගී විය හැකි වුවත්, ඔවුන්ගේ “ජීවිත ආරක්ෂාව සහ පැවැත්ම වෙනුවෙන්” අමෙරිකානු භූමියේ ක්රීඩා කිරීම සුදුසු නොවන බවයි. මෙම ඉල්ලීම හේතුවෙන් 2026 ලෝක කුසලාන තරගාවලියේ සැලසුම් සැලකිය යුතු ලෙස වෙනස් වීමට ඉඩ පවතින අතර, ෆීෆා ආයතනය මෙතෙක් මේ පිළිබඳව අවසන් තීරණයක් ප්රකාශ කර නැත.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



