එක්සත් රාජධානියට උණුසුම් සහ හිරු රශ්මිය සහිත කාලගුණය සති අන්තය දක්වාම පවතිනු ඇතැයි පුරෝකථනය කෙරේ

එක්සත් රාජධානිය පුරා පවතින සාමාන්‍ය මට්ටමට වඩා වැඩි උණුසුම් කාලගුණික තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ ද පවතිනු ඇතැයි කාලගුණ අංශ පවසයි.

ගතවූ බදාදා දිනය වසරේ මෙතෙක් වාර්තා වූ උණුසුම්ම දිනය ලෙස සටහන් වූ අතර, ඉදිරි දිනවලදී ද උෂ්ණත්වය සෙල්සියස් අංශක 14 සිට 18 දක්වා ඉහළ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. බදාදා දිනයේදී වේල්සයේ ගොගර්ඩන් (Gogerddan) ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක 20.9ක උපරිම උෂ්ණත්වයක් වාර්තා විය.

හෙට (සිකුරාදා) වසන්තය (Spring) උදාවන දිනය වන අතර, එදින ස්කොට්ලන්තය සහ උතුරු අයර්ලන්තය යන ප්‍රදේශවලට වසරේ මෙතෙක් වාර්තා වූ උණුසුම්ම දිනය වීමට වැඩි ඉඩකඩක් පවතින බව කාලගුණ විද්‍යාඥයෝ පවසති. අධික වායු පීඩන තත්ත්වයක් පැවතීම හේතුවෙන් වර්ෂාපතනය ඉතා අවම වන අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවලට දැඩි හිරු රශ්මියක් පවතිනු ඇත.

බොහෝ ප්‍රදේශවලට උණුසුම් කාලගුණයක් පැවතියද, ඊසානදිග එංගලන්තය සහ දකුණු ස්කොට්ලන්තය යන ප්‍රදේශවලට යම් වලාකුළු සහිත ස්වභාවයක් පැවතිය හැකිය. එම ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 11 සිට 13 දක්වා මඳක් අඩු මට්ටමක පවතිනු ඇත. සති අන්තය වන විට ද වියළි කාලගුණයක් සහ මෘදු සුළං තත්ත්වයක් පවතින බැවින්, සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 2ක් හෝ 3ක් පමණ වැඩි උණුසුමක් ජනතාවට අත්විඳීමට හැකි වනු ඇත.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top