ගොදුරක් දඩයම් කරමින් සිටින තරුණ අයිබීරියන් ලින්ක්ස් (Iberian lynx) වර්ගයේ වල් බළලෙකුගේ සුවිශේෂී ඡායාරූපයක් 2026 වසරේ Wildlife Photographer of the Year People’s Choice Award දිනා ගැනීමට සමත්ව ඇත.
“පියාඹන මීයා” (Flying Rodent) ලෙස නම් කර ඇති මෙම ඡායාරූපය ඔස්ට්‍රියානු ජාතික ඡායාරූප ශිල්පී ජෝසෆ් ස්ටෙෆාන් (Josef Stefan) විසින් ස්පාඤ්ඤයේ සියුඩාඩ් රියල් (Ciudad Real) පළාතේදී ලබාගත්තකි.
ඡායාරූප ශිල්පියා පවසන පරිදි, ඔහු දින කිහිපයක් සඟවී බලා සිටින අවස්ථාවක මෙම තරුණ ලින්ක්ස් බළලා තම ගොදුර සමඟ හදිසියේම මතු වී තිබේ. ඉන්පසු සත්වයා තම ගොදුර නැවත නැවතත් අහසට විසි කරමින් සහ අල්ලා ගනිමින් සෙල්ලම් කිරීමට පටන් ගෙන ඇත.
මිනිත්තු 20ක් පමණ මෙම ලින්ක්ස් බළලා තම පසුපස ගාත්වලින් නැගී සිටිමින් ගොදුර දෙසම බලා සිටි බවත්, එය දැකීමට මීයා පියාසර කරනවාක් මෙන් දිස්වූ බවත් ඡායාරූප ශිල්පියා වැඩිදුරටත් සඳහන් කර ඇත.
අයිබීරියන් ලින්ක්ස් යනු ලොව වෙසෙන දුර්ලභ ගණයේ වල් බළල් විශේෂයකි. 2000 දශකයේ මුල් භාගයේදී මෙම සතුන් 100කටත් වඩා අඩු ප්‍රමාණයක් ඉතිරිව තිබූ බැවින් වඳවීමේ තර්ජනයට දැඩිව මුහුණ දී සිටියේය. දිගුකාලීන සංරක්ෂණ සහ නැවත හඳුන්වාදීමේ උත්සාහයන් නිසා මේ වන විට ඔවුන්ගේ ගහනය 2,000කට වඩා වැඩි වී ඇතත්, තවමත් ඔවුන් ‘අවදානමට ලක්විය හැකි’ (Vulnerable) සත්ව විශේෂයක් ලෙස වර්ගීකරණය කර ඇත.
මෙවර තරගය සඳහා ඉදිරිපත් වූ ඡායාරූප 25ක් සඳහා ලොව පුරා වනජීවී ලෝලීන්ගෙන් වාර්තාගත මනාප 85,917ක් ලැබී තිබුණි.
උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.



