ඉරානයේ විරෝධතා උත්සන්න වෙයි: ඇමරිකානු ප්‍රහාරයකට එරෙහිව පලිගන්නා බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

ඉරානය පුරා පැතිර යන විරෝධතා මර්දනය කිරීමේදී සිය ගණනක් විරෝධතාකරුවන් මියගොස් ඇති පසුබිමක, ඇමරිකාව තමන්ට ප්‍රහාරයක් එල්ල කළහොත් ඊට දැඩි ලෙස ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ඉරානය අනතුරු අඟවයි.

මානව හිමිකම් සංවිධානවලට අනුව විරෝධතාකරුවන් 495ක් පමණ මියගොස් ඇති අතර, BBC පුවත් සේවය ටෙහෙරාන් නුවර මෘත ශරීරාගාරයක තිබී මළ සිරුරු අඩංගු බෑග් 180ක් පමණ තහවුරු කර ඇත. පසුගිය සති දෙක තුළ පුද්ගලයින් 10,600කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ඉරාන නායකයින් තමන් සමඟ සාකච්ඡා කිරීමට කැමැත්ත පළ කර ඇති බවයි. කෙසේ වෙතත්, ඇමරිකාව ඉතා ප්‍රබල විකල්ප පිළිබඳව සලකා බලමින් සිටින බවත්, සාකච්ඡාවකට පෙර ක්‍රියාත්මක වීමට සිදුවිය හැකි බවත් ඔහු පවසා තිබේ. සයිබර් ප්‍රහාර එල්ල කිරීම හෝ තවත් සම්බාධක පැනවීම වැනි විකල්ප ඇමරිකාවේ අවධානයට යොමුව ඇත.

විරෝධතාකරුවන් දැන් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ පාලනය අවසන් කරන ලෙස ඉල්ලා සිටිති. රජය විසින් අන්තර්ජාලය සම්පූර්ණයෙන්ම පාහේ විසන්ධි කර ඇති බැවින් තොරතුරු තහවුරු කර ගැනීම ඉතා අපහසු වී ඇත. ඉරාන නීති අංශ පවසන්නේ විරෝධතාවල නිරත වන්නන් දෙවියන්ගේ සතුරන් (Enemy of God) ලෙස සලකා ඔවුන්ට මරණ දඬුවම පවා ලබා දිය හැකි බවයි.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top