ජාතික ගීය ගායනා කිරීම ප්‍රතික්ෂේප කළ ඉරාන පාපන්දු ක්‍රීඩිකාවන් පස්දෙනෙකුට ඕස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ

ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී වූ ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් පස්දෙනෙකුට ඕස්ට්‍රේලියාවේ මානුෂීය වීසා (Humanitarian Visas) පිරිනමා ඇති බව ඕස්ට්‍රේලියානු රජය නිවේදනය කරයි.

ඉකුත් සතියේ දකුණු කොරියාව සමඟ පැවති තරගයකට පෙර ඉරාන ජාතික ගීය ගායනා කිරීම මෙම ක්‍රීඩිකාවන් ප්‍රතික්ෂේප කර තිබුණි. මෙම සිදුවීමත් සමඟ ඉරානය තුළ ඔවුන් දැඩි විවේචනයට ලක් වූ අතර, ඇතැම් දේශපාලන විචාරකයින් ඔවුන්ව “යුද සමයේ ද්‍රෝහීන්” ලෙස හඳුන්වමින් දැඩි දඬුවම් ලබාදිය යුතු බවට ප්‍රකාශ කර තිබුණි.

ඕස්ට්‍රේලියානු ආගමන විගමන අමාත්‍ය ටෝනි බර්ක් මහතා ප්‍රකාශ කළේ, පොලිස් ආරක්ෂාව යටතේ මෙම ක්‍රීඩිකාවන් ආරක්ෂිත ස්ථානයකට යොමු කර ඇති බවයි. කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩිකාවන්ටද ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමට අවශ්‍ය නම් ඒ සඳහා අවස්ථාව පවතින බව රජය දැනුම් දී තිබේ.

රැකවරණය ලැබූ ක්‍රීඩිකාවන් මෙලෙස වීසා බලපත්‍ර හිමි වූ ක්‍රීඩිකාවන් පස්දෙනා ෆාතිමා පසන්දිඩේ (Fatemeh Pasandideh), සාරා ගන්බාරි (Zahra Ghanbari), සාරා සර්බාලි (Zahra Sarbali), ආටෙෆේ රමසාන්සාඩේ (Atefeh Ramazanzadeh) සහ මොනා හමූඩි (Mona Hamoudi) වේ.

ඕස්ට්‍රේලියාවේ මානුෂීය වීසා වැඩසටහන යටතේ මෙම ක්‍රීඩිකාවන්ට එරට ස්ථිර පදිංචිය, රැකියා කිරීමේ සහ අධ්‍යාපනය ලැබීමේ අයිතිය හිමිවේ.

උපුටා ගැනීම: සියළු තොරතුරු BBC ඇසුරෙනි.

Scroll to Top